ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම වට ක්‍රීඩක වනිඳු හසරංග, අයර්ලන්තය සමඟ පැවති ශ්‍රී ලංකාවේ 2026 T20 ලෝක කුසලාන ආරම්භක තරඟයේදී හැම්ස්ට්‍රිං (hamstring) ආබාධයකට ලක්වීම හේතුවෙන්, තරඟාවලියේ ඉතිරි සියලු තරඟවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඉරිදා පැවති එම තරඟයේදී පන්දු යැවීමේදී පන්දු දෙකක් පමණක් යවා තිබියදී හසරංගට හැම්ස්ට්‍රිං ආබාධයක් ඇතිවූ බව පෙනී ගිය අතර, එහෙත් ඔහු එම ආබාධය තිබියදීත් තරඟය තුළ පන්දු යැවීම දිගටම කරමින් ලකුණු 25 කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක් ලබා ගැනීමට දායක විය. සඳුදා සිදුකළ MRI පරීක්ෂණයකින්, ඔහුගේ වම් පාදයේ හැම්ස්ට්‍රිං මාංශපේශියේ “බරපතළ ඉරිතැලීමක්” (serious tear) ඇති බව තහවුරු වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ තරග වැදීම මෙයින් අවසන් වන බව ESPNCricinfo වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කඩුලු දඩයම්කරු වනිදු හසරංග 2019 සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසුණු දින සිට හසරංග ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන අතර, ඔහු ටෙස්ට්, එක්දින සහ T20 ජාත්‍යන්තර තරග ආකාර තුනම එකතුවෙන් කඩුලු 260ක් දවාගෙන ඇත. එමෙන්ම, T20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් ලැයිස්තුවේ ඔහු දෙවැනි ස්ථානයේ පසුවන අතර, එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන්ය. හසරංග එම තරගාවලියේදී කඩුලු 40ක් දවාගෙන ඇත. නැවත නැවත හැම්ස්ට්‍රිං ආබාධයට ගොදුරු වීම කෙසේවෙතත්, මෙම කාලය තුළ හසරංගට හැම්ස්ට්‍රිං ආබාධ කිහිප වතාවක්ම ඇතිවී ඇති අතර, විශේෂයෙන් 2023 වසරේ පැවති 50-ඕවර් ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ඔහුට සිදුවූ ආබාධයකින් සම්පූර්ණයෙන් සුව වීමට නොහැකි වීම හේතුවෙන්, එම තරගාවලියට සහභාගී වීමට ඔහුට නොහැකි විය. එමෙන්ම, 2025 වසරේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ T20 ජාත්‍යන්තර තරඟ 24කින් 7ක් සහ එක්දින තරඟ 16 කින් 5ක් ඔහුට අහිමි වී තිබූ අතර, එයටද හේතුව වී ඇත්තේ හැම්ස්ට්‍රිං ආබාධයකි. ආදේශ ක්‍රීඩකයෙකු නම් කිරීමට කමිටු අනුමැතිය අවශ්‍යයි ශ්‍රී ලංකා කණ්ඩායමට හසරංග වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු නම් කිරීමට හැකිවන්නේ, ඉසව් තාක්ෂණික කමිටුව (Event Technical Committee) එම වෙනස්කම අනුමත කිරීමෙන් පසුව පමණක් බව වාර්තා වේ. එමෙන්ම, දේශීය මාධ්‍ය වාර්තා කිහිපයක සඳහන් වන්නේ තවත් ලෙග් ස්පින් පන්දු යවන සියලුම වට ක්‍රීඩකයෙකු වන දුෂාන් හේමන්ත ආදේශ ක්‍රීඩකයෙකු ලෙස නාමයෝජනා වීමට වැඩි ඉඩක් ඇති බවයි. ශ්‍රී ලංකාවේ ඊළඟ තරඟය ඔමානයට එරෙහිව ඉන්දියාව සමඟ එක්ව T20 ලෝක කුසලානය සම සත්කාරකත්වයෙන් පවත්වන ශ්‍රී ලංකාව, ඉදිරි තරඟයේදී බ්‍රහස්පතින්දා ඔමානයට එරෙහිව තරඟ වැදීමට නියමිතය.